රාහුල විද්‍යාලය

රාහුල විද්‍යාලය.

රාහුල විද්‍යාලය යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පාසල කි. එය ශ්‍රී ලංකාවේ දකුණින්ම පිහිටි දිස්ත්‍රික්කය වන මාතර දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.

1923 මැයි මස 1 වැනි දින ශ්‍රීමත් R.A.D. ගුණවර්ධන මහා කුලතුංගයන් ගේ මෙහෙයුමෙන් “මාතර බෞද්ධ සංගමය” විසින් පෞද්ගලික බෞද්ධ පාඨශාලාවක් ලෙස “පරාක්‍රමබාහු විද්‍යාලය” යන නමැතිව විද්‍යාලය අරඹන ලදී.

රාහුල විද්‍යාලය ශ්‍රී ලංකාවේ දීර්ඝතම ඉතිහාසයක් ඇති බෞද්ධ පාසල් වලින් එකකි. විද්‍යාලය මේ වන විට රජයේ මෙහෙයවීමට අනුගත ජාතික පාසලක් වන්නේ ය. ශ්‍රී ලංකාවේ ජාතික පාසල් ඇති කිරීමේදී පළමුවෙන්ම ජාතික පාසල් තත්වයට පත් කරන ලද පාසල් කිහිපය අතර රාහුලය ද එකකි.

ප්‍රාථමික සහ ද්විතීයක ලෙස පාසල සතු අංශ දෙකකි. ප්‍රාථමික අංශය 1 සිට 5 ශ්‍රේණිය දක්වා රාහුලයන් හට සෙවන සදන කල්හි, ද්විතීයක අංශය 6 සිට 13 ශ්‍රේණි වල රාහුලයන් ගේ විදු පියස වන්නේය.

අතීතය.

1921 දී ගාල්ල මහින්ද විද්‍යාලයාධිපති F. Gorden Pearce, D.T.W. රාජපක්‍ෂ රාළහාමි සහ ශ්‍රීමත් R.A.D. ගුණවර්ධන මහා කුලතුංග යන මහත්වරුන් “මාතර බෞද්ධ සංගමය” ආරම්භ කරන ලද්දෝ ය. 1923 වසරේ මැයි මස 1 වන දින මාතර මහ වීදියේ කුලියට ගත් ගොඩනැගිල්ලක මෙකී බෞද්ධ සංගමය විසින් “පරාක්‍රමබාහු විද්‍යාලය” නම් විදුහලක් ආරම්භ කරන්නට යෙදිනි. එම විද්‍යාලයේ ආදර්ශ පාඨය වූයේ “මම සැබෑ බෞද්ධයෙක් වෙමි” යන්නයි.

පරාක්‍රමබාහු විද්‍යාලයේ ප්‍රථම සිසුවා වන්නට පුරන ලද පින් ඇත්තා වූයේ “හේවාබෝවලගේ යසපාල” නැමැත්තා ය.

මද කලක් ඇවෑමෙන් ප්‍රදේශයේ දානපති වරයෙකු වූ C. A. ඕදිරිස් ද සිල්වා මහතා විසින් පරාක්‍රඹබාහු විද්‍යාලය වෙත පරිත්‍යාග කරන්නට යෙදුනු – වර්තමානයේ පුරාවිද්‍යා උරුමයක් ලෙසින් සංරක්‍ෂිත – “සරම් මුදලි වලව්ව” වෙත පාසල ගෙන යාම කරන ලදී. එතැන් පටන් පරාක්‍රමබාහු විද්‍යාලය “රාහුල විද්‍යාලය” යන අභිමානවත් නමැතිව නැගී සිටින්නට යෙදිනි.

වත්මන් රාහුලය.

අද දින වන විට රාහුල විද්‍යාලය, විද්‍යාලයාධිපති කිත්සිරි ලියනගමගේ මැති තුමන් විසින් මග පෙන්වන 200 කට වැඩි ගුරු මණ්ඩලයකින් නැණ ලබන 6000 කට වැඩි රාහුලයන් පිරිසකට විද්‍යාස්ථානය වන්නේ ය. ශ්‍රී ලංකා වේ ජාතික පාසල් අතුරින් ඉදිරියෙන්ම සිටින රාහුලය දිවයිනේ පාසල් අතුරින් විශිෂ්ඨතමයන්ගේ විශිෂ්ඨතමයෙක් ලෙස සැලකෙන්නේ ය. රාහුලය විසින් වාර්ෂිකව ඉහළ ශ්‍රේණිගත කිරීම් සහිත රාහුලයන් රාශියක් ජාතික විශ්ව විද්‍යාල පද්ධතිය වෙත දායාද කරනු ලබයි.

රාහුල විද්‍යාලය ශ්‍රී ලංකාව තුල පමණක් නොව සමස්ත ලෝකයේම කිසිදා නොමැකිය හැකි සලකුණක්ව වැජඹෙයි.

රාහුලයෝ විෂය සමගාමී මතු නොව විෂය බාහිර විවිධ ක්‍ෂේත්‍රයන් තුළද අති විශිෂ්ඨ දස්කම් දක්වන්නෝ ය. “රාහුල ශිෂ්‍ය නායකයින්”, “රාහුල බාල දක්‍ෂයින්”, “රාහුල ශිෂ්‍ය භටයින්”, “රාහුල ක්‍රීඩකයින්”, “රාහුල වෙබ් කණ්ඩායම” මතු නොව සියළු රාහුලයෝ තම තම ක්‍ෂේත්‍ර තුල ඉහළට ම නැගි විශිෂ්ඨතමයෝ වන්නා හ. ඊට සමගාමීව රාහුල සෞන්‍දර්යය අංශය ස්වකීය දක්‍ෂතා මගින් ලක් වේදිකාව ආක්‍රමණය කරමින් සිටින්නෝ ය.

විද්‍යාලය තුල ක්‍රියාත්මක විවිධ සමිති, සමාගම් ආදී හු සිය ක්‍රියාකාරකම් ඔස්සේ නිති පතා රාහුල නාමයේ අගය අනන්තයෙන් එහා සීමාවන් කරා ගෙන යති. ඊට සමගාමීව එකී රාහුලයෝ ස්වකීය පෞරුෂ, නායකත්ව ගුණාංග වර්ධනය කරගනිමින්, ඉදිරියේදී තමන් අතින් මෙහෙයවෙනු පිණිස ඇඟිලි ගණින ලෝකය භාර ගැනීමට ස්වකීය සුදුසුකම් විශිෂ්ඨත්වයටත් අගයැති ලෙස පෙන්වති.

විද්‍යාලයාධිපතිවරු.

කාලය නාමය
1 1923 – 1932 G. විලියම් ද සිල්වා මහතා
2 1932 – 1936 ආචාර්ය C. අමිර්තලින්ගම් මහතා
3 1936 – 1937 J.R. බාර්ට් මහතා
4 1937 – 1956 D.J. කුමාරගේ මහතා
5 1956 – 1973 B.P. ආරියවන්ශ මහතා
6 1973 – 1979 B. සූරියආරච්චි මහතා
7 1979 – 1983 A.H. ගොඩවිතාරන මහතා
8 1983 – 1986 P. විජේවර්ධන මහතා
9 1986 – 1987 මහින්ද ජාගොඩ මහතා
10 1987 – 1989 N. වීරතුංග මහතා
11 1989 – 1990 A.M. ලියනගේ මහතා
12 1990 – 1998 N. ආරියවන්ශ මහතා
13 1998 – 2002 සරත් ගුණරත්න මහතා
14 2002 – මේ දක්වා කිත්සිරි ලියනගමගේ මහතා

රාහුල ආදි ශිෂ්‍ය සංගමය.

ආදි රාහුලයෝ රට කරවති, ලොව කරවති. රාජ්‍ය තාන්‍ත්‍රික කටයුතු, වෛද්‍ය, තාක්ෂණ, දේශපාලන, පොදු සේවා, අධ්‍යාපන ආදී අංශ ඔවුන් නිසා බැබලෙති.

රට පුරා මෙන්ම ඉන් ඔබ්බට ලොව වටා ද විහිදුනු ප්‍රබලතම ආදි ශිෂ්‍ය සංගම් වලින් ප්‍රමුඛස්ථානයක් රාහුල ආදි ශිෂ්‍ය සංගමයට හිමි වේ.

රාහුල වෙබ් කණ්ඩායම. (Team|RCM Web)

රාහුල විද්‍යාලයීය නිළ වෙබ් අඩවි කණ්ඩායමේ සාමාජිකයන්…

රාහුල විද්‍යාලයීය නිළ වෙබ් අඩවිය ආරම්භ කෙරුනේ 2003 වසරේ උසස් පෙළ ව්‍යාපෘතියක් ලෙසිනි. ඒ සමගම “රාහුල විද්‍යාලයීය වෙබ් කණ්ඩායම” (Team|RCM Web) ඇරඹිනි. එම ව්‍යාපෘතිය විද්‍යාලයීය ආචාර්යවරුන් වන පූජ්‍ය. බෝගොඩ විමලඥාන ස්වාමීන් වහන්සේ සහ ජයවර්ධන මහතා අතින් අධීක්‍ෂණයට ලක්විය.

මේ වන විට රාහුලයේ නම සයිබර් අඹරේ දිදුලන සඳක් බවට පත් කිරීම සඳහා වෙබ් කණ්ඩායම මහත් වගකීම් රාශීයක් ඉටු කරමින් සිටිති. ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලය සමග පවත්වන “දෙනුවර සටන” ක්‍රිකට් මහ තරගය සජීවීව අන්තර්ජාලය හරහා ප්‍රචාරය කිරීම ඉන් ප්‍රධානය.

ඊට අමතරව, එහි සාමාජිකයන් තනි තනි ව ද විවිධ තොරතුරු තාක්‍ෂණික තරග ආදීන් ඔස්සේ රහල් හඬ පතුරුවමින් සිටිති.

විද්‍යාලයීය ගීතය.

ශ්‍රී ලක නිළඹරයේ හි
තරිඳු ලෙසා වේ මනහාරා
මාතා සොඳුරු ගුණ ධාරී
දිනේවා සැමදා හෙල දීපේ

ශිල්ප සතර දෙන සාරා සිසු සෑමා
ගුණ නුවණ වඩන අප මාතා
ශ්‍රී සාරා සදා ආලෝකේ
සෑම වෙසේහි පානා ශාන්ති
වේවා වේවා ශ්‍රී වේවා අප රාහුල මාතා හටා

නේ දන සෑම පසස්නා
තුති කරනා නිති ගුණ සෝභා
මාතා සොඳුරු ගුණ ධාරී
දිනේවා සැමදා හෙල දීපේ

විද්‍යාලයීය නිවාස.

රාහුලයෝ සියල්ලන් ම කිසියම් නිවාසයකට අයිති වන්නා හු වෙති. එකී නිවාස නාම ලද්දේ පෙර දවස විසූ අභිමානවත් රජ දරුවන්ගේ නාම ආශ්‍රිතවය. රටටත් ආගමටත් මහත් සේවයක් කළ එම රජදරුවන්ගේ නම්, රහල් නිවාස ආශ්‍රිතව තව තවත් ඔප වැටෙනු ඇත.

(නිවාස නාම අකාරාදී පිළිවෙලට පෙළගස්වා ඇත.)

  • අශෝක – රතු
  • ගැමුණු – නිල්
  • පරාක්‍රම – කහ
  • විජය – කොළ

ක්‍රීඩා.

ක්‍රීඩා වල ජය කෙහෙළි නංවන්නෝ රාහුලයෝ වෙති.

  • මළල ක්‍රීඩා
  • පැසි පන්දු
  • චෙස්
  • ක්‍රිකට්
  • රග්බි
  • පාපන්දු
  • පිහිනුම්
  • වොලිබෝල්

දෙනුවර සටන.

රාහුල විද්‍යාලයීය වාර්ෂික ක්‍රිකට් මහ සටන පැවැත්වෙන්නේ ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලය සමගනි. පළමු “දෙනුවර සටන” පැවතියේ කිතු වසින් 2004 මාර්තු මස ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ය.

ඉරට්ටේ අංකයක් සහිත වසර වල ඇලෝසියානුවන් තරගයේ සත්කාරකත්වය උසුලන අතර, ඔත්තේ අංකයක් සහිත වසර වල සත්කාරකත්වය උසුලන්නේ රාහුලයන් විසිනි.

ඇලෝසියානුවන් සත්කාරකත්වය උසුලන විට තරගය ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ද රාහුලයන් සත්කාරකත්වය උසුලන විට තරගය මාතර උයන්වත්ත ක්‍රිකට් ක්‍රීඩාංගනයේද පැවැත්වීම සම්ප්‍රදායය යි.

රාහුල විද්‍යාලය
පිහිටීම :
මාතර, ශ්‍රී ලංකාව
වර්ගය : පෞද්ගලික බෞද්ධ විද්‍යාලයක් සේ ඇරඹී, වර්තමානයේ රජයෙන් පාලනය වන, ජාතික පාසලකි.
ආදර්ශ පාඨය : “අත්තානන් දමයන්ති පණ්ඩිතා” [පාලි] අර්ථය : “බුද්ධිමතා තමා විසින්ම තමා පාලනය කරගනියි”
ආරම්භය: 1923 දී.
විදුහල්පති : කිත්සිරි ලියනගමගේ මහතා.
ශ්‍රේණි : 1 සිට 13 දක්වා
ශිෂ්‍ය සංඛ්‍යාව : 6000 ට වැඩි
පැහැයන් : නිල් සහ රන්
වෙබ් අඩවිය : www.rahulacollege.org

2 Responses to “රාහුල විද්‍යාලය”

  1. IM also rahulian so proud 2 b a RAHULIAN

  2. අඩ සිය වසරකට පෙර ඔබෙ සෙවන ම ම
    ලැබු බව සිහි කරමි සොම්නස් සිතින් ම ම
    කිතු ගොස ඔබේ පැතිරී ඇත දස අත ම
    රාහුල මෑණියෙනි, ඔබෙ පා වඳිමි ම ම


Leave a Reply