පහත සඳහන් කොටස උපුටා ගත්තේ “My notion මේ මගේ මතය” නම් බ්ලොගයෙනි. එහි සඳහන් වන්නේ මගේද සිතේ කලක පටන් තිබුනු නමුත් වදන් වලට හරවා ගත නොහැකි වුනු අදහස් සමූහයකි. එය කියවා බලන්න.
—–උපුටා ගැනීම—–
බොරු කියන එකාගේ හොඳ
අත්තනායක එම් හේරත් මැතිතුමාගේ මතය අනුව බොරු කියන එකා හොඳ දක්ෂයෙකි. සාහිත්‍යය යනු බොරුව හා සෞන්දර්ය යන දෙකේ සුන්දර එකතුවකි. මහනුර ධර්මරාජ විද්‍යාලයේ ශිෂ්‍යයෙක් එතුමා සමග පැවසූ කතාවක්.
‘එක්තරා නරියෙක් ටවුන් එකට ඇවිත්. නගරයේ දියුණුව දැක අමන්දානන්දයට පත් වෙනවා. මෙම දියුණුවට හේතුව ලෙස දකින්නේ ටවුන් එකේ ඉස්කෝල පිහිටා තිබීම. ඉතින් නැවත කැළයට යන නරියා කැළේ සතුන්ට මේ බව පවසනවා. කැලෙත් දියුණුකර ගන්න මූලික අවශ්‍යතාවය වන ඉස්කෝලයක් කැලයේ ඇති කිරීමට කට්ටි එකඟ වෙනවා. ඉස්කෝලයක් තියෙනවානම් සිලබස් එකකුත් අවශ්‍යයිනේ. විෂයමාලා නිර්දේශන කමිටුවක් පත්කරගන්නවා. එක එක සතාගෙන් යෝජනා එනවා. වඳුරා තියනවා ජම්පිං දාන්න ඔනේ. ඒකත් දැම්මා. මාළුවා කියනවා ස්විමිං ඕනේ. ඒකත් දානවා. කුරුල්ලෝ කියනවා ඉගිලෙන හැටි උගන්නන්න ඕනේ. ඒකත් දානවා. හන්ටිං, ෆයිටිං චීටිං, ඔය විදිහට නොයෙක් නොයෙක් දේ දාල සිලබස් එක හදලා ‘දියුණුවේ මුල’ අධ්‍යාපනේ දෙනවා. වඳුරා පීනන්න ගිහින් ජලසන්නිය හැදිල රෝහලේ. මාළුවා ගස් යන්න ගිහින් දැඩි සත්කාර ඒකකයේ. ඔය විදිහට කැලේ විනාශයි. ලෙඩ ගොඩයි. ඒත් තුන්දෙනෙක් වැඩෙන් ගොඩ!. එක්කෙනෙක් මදුරුවා. ලේ බීල ලේ බීල මෙඩිකල් කොලේජ් එනවා. එතනත් ලේ බීල බීල පස්සෙ චැනල් සේවයක් දාගන්නවා. “රෝග්‍යා පරමා ලාභා”. දෙවැනියා කූඩැල්ල. මැන මැන ඉංජිනියරින් ෆැකල්ටියට යනවා. එයා ඉංජිනියර්. තුන්වැන්නා ගෙම්බා. පැන පැන හිටිය නිසා කැම්පස් යන්න බැරි වෙනවා. ඒත් දේශපාලනයට තේරෙනවා. එක කෝටියකට මේ පැත්තට. අනිත් කෝටිට අනිත් පැත්තට. කොහොම හරි නව අධ්‍යාපන සංකල්පයෙන් හරි ගිය කිහිපදෙනෙක් ඉන්නවා.’ මේ අධ්‍යාපනයේ තවත් පැත්තක්.
—–උපුටා ගැනීම අවසානයි—–
මේ කතාවෙන් මම දකින්නේ මෙහි රසවත් බව පමණක් නොවෙ යි. මෙහි සඳහන් වන්නේ අපේ රටේ අධ්‍යාපනයේ අඳුරු යතාර්ථය යි.
අපේ ඉස්කෝල වල උගන්වන්නේ රටේ නිෂ්පාදනයට දායක වන විෂයයන් ද ? විවිධ රසවත් නම් වලින් හැඳින්වුවත් මෙම විෂයයන් වලින් අපේක්‍ෂිත කරතව්‍යය ඉෂ්ඨ වන්නේ ද ? මම හොඳ උදාහරණයක් දෙන්නම්.
මම අට නැත්නම් නවය වසරේ ඉන්නකොට අපේ කාල සටහනට ඇතුලත් වෙලා තිබුනා “ජීවන නිපුනතා” කියල විෂයයක්. කොහොමද අප්පා නමේ ලස්සන විතරක් ? අහන කෙනෙකුට හිතෙන්නේ මේ විෂයයෙන් ජීවිතය ගෙන යා යුතු ආකාරය පිළිබඳ අවබෝධයක් ලබා දෙනවා ය, හොඳ වැදගත් විෂයයක් ය කියල නේ ? නමුත් ඒ පැහැදිලි කිරීමත් එක්කම මට ගැටළු දෙකක් මතු වෙනවා,
- රජයෙන් නිර්දේශ කරන විෂයයක සඳහන් ආකාරයන්ට අනුව සියළු ශ්‍රී ලාංකික ශිෂ්‍යයන් හැසිරෙතැයි සිතීම ප්‍රායෝගික ද ?
- බුද්ධ ධර්මය (අනෙක් ආගම් විෂයයන් පාසල තුලදී ඉගැන්වීම පිළිබඳව මා සතුව දැනුමක් නොමැත.) යන විෂයයෙන් බලාපොරොත්තු වන්නේ ඉහත කී අරමුණ සාක්‍ෂාත් කර ගැනීම ම නොවේ ද ?
එම විෂයය නිර්දේශ කිරීම පිළිබඳ ගැටළු පැත්තකින් තබමු. මා සිටි පංති කාමරය තුල එම විෂය කෙසේ ඉගැන්විනි දැයි කියා ද ඔබ සිතන්නේ ?
එම විෂයය සඳහා පත්ව සිටියේ ගුරුවරියකි. සතියකට කාලච්ඡේද දෙකක් උක්ත විෂයය වෙනුවෙන් වෙන්ව පැවතිනි. එතුමිය පැමිණෙන්නේ ටිකක් ලොකු පොතක් ද සමගිනි. එහි නම කුමක්ද යන්න පරීක්‍ෂා කර බැලූ මුත්, දැන්එය මතක නැත. පොත පෙරල ගනී, එය කියවයි, අපි එය අපේ සටහන් පොත් වල සටහන් කර ගත්තෙමු. අවසන් වශයෙන් බලන කල අප ලැබූ “ජීවන නිපුනතාවය” වනුයේ “අසා ලිවීමයි” එය එක වසරේ සහ දෙක වසරේ දී සිංහල විෂයය යටතේ කළ හැටි ද මට සිහියට එයි.
අපේ අධ්‍යාපනඥයන් සිතා සිටින්නේ පෙළ පොත් ලොකු වූ තරමට, සටහන් පොත් විකිණුම වැඩි වූ තරමට, කොන්දේ ආබාධ මතු නොව මනසේ ආබාධ සහිත ශිෂ්‍යයන් වැඩි වන තරමට අධ්‍යාපනය දියුණු වී ලංකාවේ අනාගතය සමෘද්ධිමත් වන බවයි. ඉතින් ඔවුගේ ඒ අරමුණ කරා ඔවුන් නො නැවතී සාර්ථකව ගමන් කරයි.
සිදු විය යුත්තේ එයද ?
වර්තමානයේදී නිවැරදි වන්නේ “උගතමනා ශිල්පය ම යි මතු රැකෙනා” යන්න නොවේ !
උගත මනා ශිල්පය ම යි මතු රැකෙනා/මතු රැකෙනා ශිල්පය ම යි උගත මනා
ඔබ සිතන්නේ මින් කුමක් නිවැරදි ය කියා ද ?
අප සියළු දේ පොඩ්ඩ පොඩ්ඩ ඉගෙන ඉන් එකක් පමණක් අනාගතයේ දී ප්‍රයෝජනයට ගන්නවා ද ? නැතහොත් අනාගතයේදී ප්‍රයෝජනවත් විය හැකි දේ ඉගන ගන්නවාද ?
ලංකාවේ අධ්‍යාපනය අනුව මාළුවා ගස් නැගිල්ල ඉනග ගත යුතුය. නැතහොත් පිහිනීම සඳහා ඔහු සුදුසු නොවේ, මේක හරි හතර බීරි කතාවක් නේ ? පිහිනීමට ගස් නැගිල්ල කිසි සේත් අදාළ වන්නේ නොවේ, නමුත් මාළුවා ගස් නැගිල්ල දන්නේ නැත්නම් පිහිනීම සම්බන්ධ ආයතනයේ (මෙය කැලෑ රජයේ ආයතනය කි) රැකියාව නොලැබේ.
ගොඩ ගත නොහැකි විදියට අපි (වත්මන් පාසල් සිසුන්) දැන් මේ වලේ වැටිල ඉන්නේ. අධ්‍යාපන ප්‍රතිපත්ති හදන්නේ කාගේ වුවමනාවන් ට අනුව දැයි නො දනිමි නමුත් එයි ශිෂ්‍යයාට වත් රටට වත් ඵළ ක් නැති බව නම් දනිමි.
අපි වලේ දැම්මට කමක් නැහැ. ඒකට දැන් කරන්න දේකුත් නැහැ. මොකද මට දැන් ආපහු එක වසරෙ ඉදන් පටන් ගන්න බැරි නිසා, නමුත් අනාගත පාසල් සිසුන් වත් මේ වලට නොවැටී බේරා දෙන්නට වත්මන් පාසල් සිසුන් වශයෙන් අපි කටයුත කරන්ට ඕනෑ.