ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ළඟට, “ජාතික ප්‍රතිපත්ති සමුදාය”ක්, “ජාතික අරමුණු සමුදාය”ක් හා “ජාතික සැලසුම් සමුදාය” ක්

ඕනෑම පුද්ගලයෙකුට, සමාජ කණ්ඩායමකට හෝ රටකට,

01. තමන් හැසිරිය යුත්තේ කෙසේද යන්නත්
02. යම් යම් අවස්ථා වල පවතින සාධක මත පදනම්ව, තමන් විසින් ගත යුතු තීන්දු තීරණ කුමක්ද යන්න පිළිබඳව හෙවත් තමන්ගේ ස්ථාවරයන් පිළිබඳවත්
03. ඉදිරි කාලයන් තුලදී තමා ළඟා විය යුතු සංධිස්ථාන පිළිබඳවත්
04. එකී සංධිස්ථාන කරා ළඟා වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවත්

පැහැදිලි භාවයක් තිබිය යුතු ය.

ශ්‍රී ලංකාව තුල ඉහත පළමු වැනි කරුණ සඳහා නිශ්චිත භාවයක් දක්නට ලැබේ. එනම් “ශ්‍රී ලංකාව (රජය හා වැසියන්) හැසිරිය යුත්තේ කෙසේද” යන්න නිශ්චිත කෙරුම පිණිස ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ප්‍රමුඛ නීති පද්ධතිය වෙයි. එමගින් රජය ප්‍රමුඛ මහජනයාගේ හැසිරීම් රටාව කෙබඳු විය යුතු ද යන්න පිළිබඳව පැහැදැළි කෙරුම් යොදා ඇත. එමෙන්ම එය මෙහෙයවීම සඳහා විධිමත් ආයතනයන් (ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය) පිහිටුවා ඇත.

නමුත්, ශ්‍රී ලංකාව තුල තමන් ගේ ස්ථාවරයන් නිශ්චිත කරවන යම් ලේඛනයක්, තමන්ගේ අරමුණු නිශ්චිත කරවන යම් ලේඛනයක් හා තමන්ගේ සැලසුම් නිශ්චිත කරවන යම් ලේඛනයක් තිබේද ?

යම් නිශ්චිත ප්‍රතිපත්තියකින්, අරමුණකින් සහ සැලසුමකින් තොරව යන ගමන කෙසේ අවසන් වේ ද ? එය හරියට ඉබාගාතේ ඇවිදින ලිහා දැමූ හරකෙක් වැනි නොවේ ද ?

දැනට පවතින බොහෝමයක් ගැටළු වලට හේතුව වන්නේ මෙකී නිශ්චිතතා වල අඩුව නොවේද ? වරින් වර බලයට පත්වන විවිධ රජයයන් තම තමන්ගේ පක්‍ෂ වල න්‍යායපත්‍රානුකූලව රට “දැක්කීම” ට කටයුතු කරනු විනා, නිශ්චිතයන් කරා රට ගෙන යාමක් දක්නට ලැබේ ද ?

හුදු ව්‍යවස්ථාදාකය – විධායක – අධිකරණ ආයතන ත්‍රිත්වයට සීමා වූ, ආදි කාලීන පාලන ක්‍රමයෙන් ඉදිරියට ගොස් ජාතික නිශ්චිතතාවන් කරා පිය නොගන්නේ එය බලයට පත්වන පුද්ගලයන්ට අවාසි දායක වන නිසා ද ? එය එසේ නම් ජනතාව වශයෙන් අපි කුමක් කරමුද ?

ගොයම ම ගොයම් කනවා නම් කාට කියමු ද ඒ අමාරුව ?

2 Responses to “ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ළඟට, “ජාතික ප්‍රතිපත්ති සමුදාය”ක්, “ජාතික අරමුණු සමුදාය”ක් හා “ජාතික සැලසුම් සමුදාය” ක්”

  1. සියලුම දේවල් නීති මගින් කරන්නට බැහැ. ඔබ පවසන ගැටලුවට එකම පිළීතුර නිසි සමාජ දේශපාලන ව්‍යාපාර ගොඩ නැගීමයි. නමුත් දේශපාලනයට බයේ පුද්ගලික ගේම් ගහන ගමන් දේශපාලකයන්ට පලු යනකම් බැන බැන ඉන්න රටේ එහෙම ව්‍යාපාර බිහි වෙන්නෙ නෑ.

    වෙනස් වීම් ඉබේ සිද්ධ වෙන්නෙ නෑ. අපි වෙනස් කරන්න හැදුවොත් මිසක්

  2. හොඳ ප්‍රවේශයක්.
    ස්තුතියි මෙවැනි දෙයක් සටහන් කරන්න උත්සාහ කිරීමට.
    ….“ශ්‍රී ලංකාව (රජය හා වැසියන්) හැසිරිය යුත්තේ කෙසේද”යන්න නිශ්චිත කෙරුම පිණිස ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ප්‍රමුඛ නීති පද්ධතිය වෙයි. …
    හරි, හැසිරිය යුත්තේ කෙසේද යන්න ‘ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ප්‍රමුඛ නීති පද්ධතිය’ මගින් නිර්නය කරනු ලබනවා. එකඟයි. ගැටළුව ඔබ පවසනවා සේම ‘ශ්‍රී ලංකාව තුල තමන් ගේ ස්ථාවරයන් නිශ්චිත කරවන … සැලැස්මක්’ නොමැති කමයි. මා සිතන ආකාරයට පළමුව තිබිය යුත්තේ ව්‍යවස්ථාවක් හෝ නීති පද්දතියක් නොව රටක් ජාතියක් හැටියට අපේ ස්ථාවරය පැහැදිලිවන, නිශ්චයවන, මෙහෙයවන ‘සැලැස්මකි’. එය ලියවිල්ලක් වියහැකියි. නො එසේනම් දර්ශනයක් විය හැකියි. කතිකාවක් විය හැකියි. කුමක් වුවත් එය අපේ රටේ දැක්ම විය යුතුයි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ප්‍රමුඛ නීති පද්ධතිය තිබිය යුත්තේ මෙම සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා වු යොමු කරවීම සඳහායි.


Leave a Reply